ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු 📱

Smartphone එකක් භාවිතා කිරීමේදී අප බොහෝ දෙනෙක් අඩුවෙන්ම අවධානය යොමු කරන දෙයක් තමයි එහි බැටරිය. ජංගම දුරකථන භාවිතා කරන බොහෝ දෙනෙක් එහි බැටරිය නිසි ලෙස නඩත්තු කරන ආකාරය පිලිබඳව නොදැනුවත්ව සිටීම මෙයට හේතුවයි. සාමාන්‍යයෙන් අප පුරුදු වී සිටින්නේ ජංගම දුරකථනයේ බැටරිය බැස යාමට ආසන්න වූ විට හෝ සම්පූර්ණයෙන්ම බැස ගිය විට එය චාජ් කිරීමටයි. නමුත් ජංගම දුරකථනයේ බැටරිය සහ එය නිවැරදිව චාජ් කරන ආකාරය පිලිබඳව නිසි අවබෝධයක් ලබා ගැනීමෙන් ජංගම දුරකථන බැටරිය චාජ් කිරීමේදී අප අතින් සිදු වන වැරදි අවම කර ගැනීමටත්, බැටරියේ ආයු කාලය වැඩි කර ගැනීමටත් පහසුවෙන්ම හැකියාව ලැබෙනවා.

වර්තමානය වන විට smartphones වල බැටරිය "non-removable", එනම් දුරකථනය භාවිතා කරන පුද්ගලයාට ගැලවීමට නොහැකි ලෙස දුරකථනය තුළටම සවි කර තිබෙනවා. මේ නිසා නවීන smartphone එකක බැටරිය ඉවත් කර අලුත් බැටරියක් යෙදීමට අධික වියදමක් දැරීමට සිදු වෙනවා. බොහෝ විට බැටරියක් අලුතෙන් යෙදීමට වඩා නව දුරකථනයක් මිලදී ගැනීම වාසිදායක වන අවස්ථා තිබේ. එම නිසා දුරකථනයක බැටරිය නිසි ලෙස නඩත්තු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවට පත්ව ඇත. මෙසේ බැටරිය දුරකථනයෙන් ඉවත් කිරීමට නොහැකි ලෙස සකස් කිරීමට හේතු කිහිපයක් බලපානවා.

1. නවීන ජංගම දුරකථන වල ඝනකම අඩු වීම.

මේ වන විට ජංගම දුරකථනයක සාමාන්‍ය ඝනකම මිලි මීටර් 7 - 9 පමණ ඉතා කුඩා අගයක් බවට පත් වී තිබෙනවා. මෙසේ දුරකථන වල ප්‍රමාණය තුනී වීම නිසා එහි පිටුපස කොටස සහ බැටරිය ගැලවීමට හැකි වන ලෙස සකස් කිරීම අපහසු වී තිබෙනවා. එසේ කළ විට දුරකථනයේ ශක්තිමත් බව සහ දැඩි බව අඩු වී දුරකථනය කුඩා පීඩනයක් යෙදීමෙන් වුවද කැඩී යාමට හැකි බැවිනි. තවද, දුරකථනයේ ඉදිරිපස කොටස ද සම්පූර්ණයෙන්ම දුරකථන තිරයෙන් සහ තුනී වීදුරු වලින් වැසී තිබීමද දුරකථනයේ ශක්තිමත් බව අඩු වීමට තවත් හේතුවක්. දුරකථනය තුනී වීම නිසා එහි chassis (රාමුව) ද ශක්තිමත් බවින් අඩු වනවා.

Oppo Find X දුරකථනය
Image credit - Pocket-lint

2. වීදුරු, සෙරමික් සහ ලෝහ වලින් දුරකථනය නිමවා තිබීම.

වර්තමානය වන විට ජංගම දුරකථනය productivity equipment එකකට වඩා fashion statement එකක් බවට පත්ව තිබෙනවා. එනම් දුරකථනයක් යනු තම කාර්යයන් ඉටු කරගැනීමට යොදාගන්නා තවත් එක් උපකරණයක් නොව, තම සමාජ තත්වය, පොහොසත් බව සහ තම පෙනුම වැඩි කර පෙන්වීමට යොදාගන්නා උපකරණයක් බවට පත්ව තිබෙනවා. එනම් දුරකථනයේ ප්‍රායෝගික බව (practicality) ට වඩා එහි පෙනුම (design/looks) වැදගත් වී තිබෙනවා. මෙම කරුණ නිසා දුරකථන නිපදවීමට බාල පෙනුමෙන් යුත් ප්ලාස්ටික්/පොලිමර් (polymer) වෙනුවට වීදුරු (glass), ලෝහ (metal), සහ ඉතා මිල අධික සෙරමික් (ceramic) සහ ඊටත් වඩා මිලෙන් අධික කාබන් ෆයිබර් (carbon fiber) සහ සැෆයර් (sapphire) වැනි ද්‍රව්‍යය පවා යොදා ගන්නවා. මෙවැනි මිල අධික, දැඩි බවින් වැඩි ද්‍රව්‍යය යොදා නිපදවන ජංගම දුරකථන වල බැටරිය ගැලවීමට හැකි ලෙස (removable) සැකසීම ඉතා අපහසු මෙන්ම ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක්.

3. සෑම වසරක් පාසා ම නිපදවන නව ජංගම දුරකථන විකිණිමට අවශ්‍ය වීම.

මීට වසර 12 - 13 කට පෙර ජංගම දුරකථන සලකා බැලූ විට පෙනී යන කරුණකි ඒවා කල්පැවැත්ම (durability) අතින් ඉතා උසස් බව. එම මුල් කාලීන "ස්මාට් නොවන" ජංගම දුරකථන කිසිදු ගැටලුවකින් තොරව අදටත් භාවිතා කිරීමේ හැකියාව පවතිනවා. Nokia සහ Sony Ericsson ජංගම දුරකථන මෙසේ කල්පැවැත්ම සහ ගුණාත්මක බව (build quality)  අතින් ඉතා උසස් මට්ටමේ ජංගම දුරකථන ලෙස ප්‍රචලිතව තිබුණි. නමුත් මෙසේ ඉතා හොඳ කල් පැවැත්මෙන් යුත් දුරකථන නිපදවීම නිසා වසරක් පාසා නිපදවන නව දුරකථන විකුණාගැනීමට අපහසු බව දුරකථන නිෂ්පාදන සමාගම් තේරුම් ගැනීමත්, නව දුරකථන වලට වසරක් පාසා අලුත් පහසුකම් (features) එකතු කිරීමත් නිසා ක්‍රමයෙන් දුරකථන වල කල්පැවැත්ම අඩු වී ගොස් තිබේ.

Nokia 6600 දුරකථනය
Image credit - Caah Lordello

මේ වන විට smartphone එකක සාමාන්‍ය භාවිත ආයු කාලය වසර 2 - 3 කට සීමා වී තිබේ. මෙයට ප්‍රධාන හේතු කිහිපයකි. ස්මාට් ජංගම දුරකථන වසර 2 - 3 ක් පැරණි වන විට නව මෘදුකාංග සමග වැඩ කිරීමට දුරකථනයේ වේගය පුමාණවත් නොවීම, දුරකථනයේ ඉඩ (storage) ප්‍රමාණය මදි වීම, දුරකථන බිම වැටීම සහ වෙනත් අනතුරු මගින් හානි වීම සහ බැටරිය ගැලවීමට නොහැකි (non-removable) නිසා බැටරිය පැරණි වූ පසු දුරකථනය භාවිතයෙන් ඉවත් කිරීමට සිදු වීම එවැනි හේතු කිහිපයකි.

මේ නිසා දුරකථනයේ බැටරිය නිසි ලෙස නඩත්තු කිරීමෙන් සම්පූර්ණ දුරකථනයේ ම ආයු කාලය වැඩි කරගැනීමට හැකි වේ. දුරකථනය චාජ් කිරීමේදී පහත උපදෙස් පිලිපදින්න.

1. දුරකථනය චාජ් කිරීම සඳහා ඒ සමග ලැබුණු චාජරය සහ කේබල් එක පමණක් භාවිතා කරන්න.

දුරකථනයේ වර්ගය (brand) සහ model එක අනුව එයට ලැබෙන බැටරිය ද වෙනස් වනවා. එම නිසා බැටරිය චාජ් කිරීම සඳහා එයට ලබා දිය යුතු විදුලි ධාරාවේ (electric current) ප්‍රමාණය ද වෙනස් වනවා. විදුලි ධාරාවේ ප්‍රමාණය මනින්නේ ඇම්පියර් (ampere) වලිනි. ඔබගේ දුරකථනය සමග ලැබෙන චාජරය නිපදවා තිබෙන්නේ එහි බැටරියට ලබා දිය යුතු නිසි ඇම්පියර් ප්‍රමාණයට හරියටම ගැලපෙන ලෙසයි. වෙනත් දුරකථනයක් සඳහා නිපදවූ චාජරයක් ඔබේ දුරකථනය සඳහා භාවිතා කිරීමෙන් එයට නොගැලපෙන විදුලි ප්‍රමාණයක් ලැබීමට හැකිය. එවිට බැටරියට හානි වීමෙන් එහි ආයු කාලය අඩු වෙයි. තවද මෙසේ නොගැලපෙන චාජරයක් භාවිතා කිරීම මගින් ඔබගේ දුරකථනයේ බැටරියට නොගැලපෙන වෝල්ටීයතාවක් (voltage) ද ලැබීමට හැකිය. මෙයද බැටරියේ ආයු කාලය අඩු වීමට බලපානවා.

දුරකථන වලට යොදාගන්නා බැටරි නිපදවන තාක්ෂනය වන්නේ Li-ion (ලිතියම් අයන්) හෝ Li-po (ලිතියම් පොලිමර්) ය. මෙම Li-ion/Li-po බැටරි තුළ ආරක්ෂක පරිපථයක් (protection circuit) අන්තර්ගත කර තිබෙනවා. ඔබගේ දුරකථනය සමග ලැබෙන චාජරය නිපදවා තිබෙන්නේ මෙම inbuilt protection circuit එක සමග නිසි ලෙස ක්‍රියා කරන ලෙසයි.

Li-ion/Li-po බැටරියක් චාජ් කිරීමේදී එහි ධාරිතාවය (capacity) 0% සිට 100% දක්වා වන තෙක් එකම ඇම්පියර් ප්‍රමාණයෙන් යුත් විදුලි ධාරාවක් ලබා දීම සිදු කරන්නේ නැහැ. Li-ion/Li-po බැටරියක් චාජ් කිරීමේදී බැටරියේ ධාරිතාවය 0% සිට 40% පමණ වන තුරු වැඩි ඇම්පියර් ප්‍රමාණයකින් යුත් විදුලි ධාරාවක් මගින් චාජ් වීම සිදු වෙනවා. 80% - 90% පමණ චාජ් වූ පසු ඇම්පියර් ප්‍රමාණයෙන් අඩු විදුලි ධාරාවක් මගින් චාජ් වීම සිදු වනවා. බැටරිය 0% - 40% පමණ චාජ් වීමට කෙටි කාලයක් ගත වන්නේ මේ නිසයි. ඉන් පසු ඉතිරිය චාජ් වීමට තරමක් වැඩි කාලයක් ගත වෙනවා. වෙනත් දුරකථනයක් සඳහා නිපදවූ චාජරයක් මගින් ඔබේ දුරකථනය චාජ් කිරීමේදී මෙසේ විද්‍යුත් ධාරාව නිසි ලෙස පාලනය වීම සිදු වන්නේ නැහැ. එම නිසා බැටරියේ ආයු කාලය අඩු වීමට මෙසේ නොගැලපෙන චාජර් භාවිතා කිරීම ප්‍රධාන හේතුවක් වෙනවා.

එසේම ඔබගේ දුරකථනය සමග ලැබෙන කේබල් එක නිපදවා තිබෙන්නේ චාජරයෙන් ලබා දෙන විද්‍යුත් ධාරාව නිසි පරිදි දුරකථනය වෙත ගෙන යාමට හැකි ලෙසයි. ඔබේ දුරකථනයේ බැටරියේ ධාරිතාවට වඩා අඩු ධාරිතාවක් සහිත බැටරියක් සඳහා නිපදවූ කේබල් එකක් භාවිතා කළහොත් එයට චාජරයෙන් ලබා දෙන විද්‍යුත් ධාරාව නිසි පරිදි දුරකථනය වෙත ගෙන යාමට නොහැකි වීමට පුලුවන්. මේ නිසා බැටරියට නිසි ඇම්පියර් ප්‍රමාණයෙන් යුත් විද්‍යුත් ධාරාවක් නොලැබෙන අතර මෙය දිගු කාලීනව සිදු වීම නිසා බැටරියේ ආයු කාලය අඩු වෙනවා.

මිලෙන් අඩු බාල වර්ගයේ chinese චාජර් සහ කේබල් භාවිතා කිරීම කිසිසේත්ම නොකළ යුතුයි. මේවා භාවිතා කිරීමෙන් සිදු වූ දුරකථන බැටරි පිපිරීම් සහ ගිනි ගැනීම් පසුගිය කාලයේ වාර්තා වුනා.

2. බැටරිය සම්පූර්ණයෙන් බැස යන තුරු භාවිතා කිරීමෙන් වලකින්න.

ජංගම දුරකථන වල තිබෙන Li-ion/Li-po බැටරි 0% වන තුරු බැස යාමට සැලැස්වීමෙන් එය නැවත යථා තත්වයට පත් කළ නොහැකි ලෙස (irreversibly) හානි වෙනවා. බැටරිය 15% ට වඩා බැස යාමට පෙර චාජරයට සම්බන්ධ කිරීම හෝ දුරකථනය off කිරීමෙන් බැටරියට හානි වීම වලක්වාගත හැකියි. එසේම මෙම Li-ion/Li-po බැටරි වල නැවත චාජ් කළ හැකි වාර ගණන (recharge cycles) සීමිතයි. 0% වන තුරු බැටරිය බැස යාමට සැලැස්වීමෙන් මෙම recharge cycles ප්‍රමාණය අඩු වෙනවා. හදිසි අවස්ථාවකදී අවශ්‍ය වුවහොත් හැරෙන්නට පුරුද්දක් වශයෙන් බැටරිය 0% වන තෙක් බැස යාමට සැලැස්වීමෙන් බැටරියේ ආයු කාලය අඩු වේ.

3. බැටරිය අධික ලෙස රත් වීමට නොදෙන්න.

ජංගම දුරකථන සඳහා භාවිතා වන Li-ion/Li-po බැටරි වල ආයු කාලය ශීඝ්‍රයෙන් අඩු වීමට බලපාන හේතුවක් වන්නේ අධික උෂ්ණත්වය සහ අධික ශීතල ය. දුරකථනය තද අව්වේ බොහෝ වේලාවක් තැබීම, අව්වේ තිබෙන වාහනයක් තුළ දුරකථනය තැබීම සහ වෙනත් එවැනි උෂ්ණත්වය අධික ස්ථාන වල දුරකථනය තැබීමෙන් වලකින්න. යම් හෙයකින් බැටරිය රත් වී ඇත්නම් දුරකථනය භාවිතා කිරීමෙන් හෝ චාජ් කිරීමෙන් වලකින්න. බැටරිය රත් වී ඇති විට චාජ් කිරීමේන් බැටරියේ ආයු කාලය ශීඝ්‍ර ලෙස අඩු වේ. ඔබේ දුරකථනයේ phone case එකක් තිබේ නම් චාජ් කිරීමට පෙර එය ඉවත් කර චාජ් කිරීම සුදුසු ය.

4. හැකි සෑම විටම 100% වන තෙක් චාජ් වීමට ඉඩ දෙන්න.

මෙය අත්‍යවශ්‍ය කරුණක් නොවුනත් බැටරියේ ආයු කාලය තරමක් වැඩි කරගැනීමට උදව් වේ. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක දුරකථනය චාජ් කිරීමෙන් හෝ ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක දුරකථනය චාජරයෙන් ඉවත් කිරීමෙන් බැටරියට කිසිදු හානියක් සිදු නොවේ. නමුත් හදිසියක් නැත්නම් 100% වන තෙක් එක දිගට චාජ් කිරීම සුදුසුය.

5. Fast charging භාවිතය අවම කරන්න.

ඔබේ දුරකථනය fast charging පහසුකම සහිත එකක් නම් එය හදිසි අවස්ථාවන් වලදී පමණක් භාවිතා කරන්න. Fast charging පහසුකම ක්‍රියාත්මක වන්නේ බැටරිය වෙත සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි ඇම්පියර් ප්‍රමාණයකින් යුත් විද්‍යුත් ධාරාවක් හෝ වැඩි වෝල්ටීයතාවකින් යුත් විද්‍යුත් ධාරාවක් ලබා දීමෙනි. මෙය බැටරියේ දිගු කාලීන පැවැත්මට හිතකර නොවේ. හැකි සෑම විටම සාමාන්‍ය චාජරය භාවිතා කිරීම සුදුසුය.

6. දුරකථනය දිගු කාලයක් භාවිතා නොකරන විට එය 60% පමණ චාජ් කර off කර තබන්න.

දුරකථන බැටරි දිගු කලක් භාවිතා නොකර තබන විට එය ස්වභාවිකවම ක්‍රමයෙන් බැස යයි. එම නිසා 15% වැනි අඩු ප්‍රමාණයක් චාජ් කර එය දිගු කලක් ගබඩා කර තැබුවහොත් කල් යාමේදී එය 0% ටත් වඩා අඩු වීමෙන් බැටරිය ස්ථිර වශයෙන්ම හානි වේ. තවද 80% ට වඩා බැටරිය චාජ් කර එය දිගු කාලයක් ගබඩා කර තැබීම ද නුසුදුසුය. වැඩිපුර චාජ් කරන ලද බැටරිය තුල අන්තර්ගත රසායනික ද්‍රව්‍ය විවිධ ප්‍රතික්‍රියා වලට ලක් වීමට වැඩි නැඹුරුවක් දක්වන බැවිනි. එවිට බැටරියට හානි සිදු වී ආයු කාලය අඩු වේ. මේ හේතු නිසා බැටරිය දිගු කලක් ගබඩා කර තැබීමේදී 60% පමණ චාජ් කර දුරකථනය off කර තැබීම සුදුසුය.

Image credit - VectorStock

Smartphone බැටරි පිලිබඳව නිතර අසන ප්‍රශ්න සහ ඒවාට පිලිතුරු

1. අලුතෙන් දුරකථනයක් මිලදී ගත් විට එය භාවිතා කිරීමට පෙර පැය 4ක් හෝ 6ක් වැනි කාලයක් චාජ් කිරීම කළ යුතුද?

නැත. දුරකථන නිෂ්පාදන සමාගම් විසින් බැටරිය 60% පමණ චාජ් කර දුරකථන වෙලඳපොලට එවනු ලබයි. එය මිලදී ගත් විගසම භාවිතා කිරීමෙන් බැටරියට හෝ දුරකථනයට කිසිදු හානියක් සිදු නොවේ. ඔබට හදිසියක් නැත්නම් පමණක් 100% වන තෙක් චාජ් කර භාවිතා කරන්න. තවද, ඔබ දුරකථනය පැය කීයක් චාජ් කළද බැටරිය 100% වූ විගසම චාජ් වීම ඉබේම නතර වනු ඇත. බැටරිය තුළ සහ චාජරය තුළ ඇති protection circuits මගින් බැටරිය 100% වූ පසු විදුලිය සැපයීම ඉබේම නතර කරනු ලබයි.

2. චාජ් කිරීමට පෙර දුරකථනය off කළ යුතුද?

නැත. smartphones නිපදවා තිබෙන්නේ භාවිතා කරන අතරතුර චාජ් කිරීම සඳහාමය. දුරකථනය භාවිතා කරන අතරතුර චාජ් කිරීම තවදුරටත් පහසු කිරීම සඳහා wireless charging හඳුන්වා දී තිබේ.

3. රාත්‍රී කාලයේ නින්දට යන විට දුරකථනය චාජරයට සම්බන්ධ කර, උදෑසන අවදි වූ පසු චාජරයෙන් ඉවත් කිරීම බැටරියට හානිකර ද?

නැත. කලින් සඳහන් කළ පරිදි බැටරිය 100% චාජ් වූ පසු බැටරියට විදුලිය සැපයීම නතර වේ. එම නිසා ඕනෑ තරම් කාලයක් දුරකථනය චාජරයට සම්බන්ධ කර තැබීමෙන් බැටරියට හෝ දුරකථනයට කිසිදු හානියක් සිදු නොවේ. නමුත් වෙනත් දුරකථනයක් සඳහා නිපදවූ චාජරයක් ඔබේ දුරකථනය චාජ් කිරීමට භාවිතා කරනවා නම් මෙය බැටරියට හානිදායක විය හැකිය. අකුණු සහිත අවස්ථාවන් වලදී චාජරයට සම්බන්ධ කර තැබීමෙන් ද දුරකථනයට හානි විය හැකිය.

4. Laptop/desktop පරිගණකයකට සම්බන්ධ කර දුරකථනය චාජ් කිරීම සුදුසු ද?

ඔව්. නමුත් දුරකථනය චාජ් වීම සඳහා තරමක් වැඩි කාලයක් ගත වීමට හැකිය.


ඉහත උපදෙස් පිලිපැදීමෙන් දුරකථනයේ බැටරිය වසර 5 කට වඩා වැඩි කාලයක් පහසුවෙන් භාවිතා කිරීමට හැකි වනු ඇත. තවද, දුරකථනය සමග ලැබෙන උපදෙස් පත්‍රිකාව (user manual) කියවීම ද හොඳ අදහසකි. User manual හි දක්වා ඇති උපදෙස් සෑම විටම පිලිපැදිය යුතුය. ඉහත උපදෙස් ලැප්ටොප් පරිගණක වල ඇති බැටරි සඳහා ද අදාල වේ.

Comments

Popular posts from this blog

ජෙනුයින් වින්ඩෝස් නොමිලේ! | Genuine Windows 10 - Free Download

Android 9 Pie 🥧 ගැන හැමදේම!