🔋⚡ මිනිත්තු 30 න් චාජ් වෙන phone එක!

ලොව පළමු iPhone එක සහ පළමු Android phone එක හඳුන්වා දී දැනට වසර 10 කට මඳක් වැඩි කාලයක් ගත වී තිබේ. එම ගත වූ වසර 10 තුළ දුරකථන සීඝ්‍ර ලෙස දියුණු වී ඇත. 2007 වසරේ හඳුන්වා දුන් පළමු iPhone එක සහ 2018 වසරේ හඳුන්වා දුන් iPhone Xs හෝ iPhone Xs Max සසඳා බැලූ විට වසර 10 ක් තුළ දුරකථනය විශ්වාස කිරීමට පවා අපහසු තරමින් දියුණු වී ඇත. Android දුරකථන වල තත්වය ද එසේමය.

Oppo Find X දුරකථනය
Image credit - Pocket-lint

දුරකථන වල වේගය (processing power), මතක ධාරිතාවය (RAM and storage capacity), ආරක්ෂාව (security), දුරකථන තිරය (display), ජලයට සහ දුහුවිලි වලට ප්‍රතිරෝධී බව (dust and water resistance), දුරකථන වල නිෂ්පාදන ගුණාත්මක බව (build quality), දුරකථන කැමරාව (camera), සහ මෘදුකාංග (software) යන සෑම අංශයක්ම පසුගිය දස වසර තුළ විශාල දියුණුවක් ලබා ඇත. නමුත් මීට සාපේක්ෂව දුරකථන බැටරියේ සැලකිය යුතු තරම් දියුණුවක් සිදු වී නොමැත. පළමු iPhone එකේ සහ පළමු Android දුරකථනයේ තිබූ බැටරි තාක්ෂණය අදටත් එසේම භාවිතා වේ.

පළමු iPhone සිට iPhone X දක්වා
Image credit - Adobe

සාමාන්‍යයෙන් smartphone එකක් සම්පූර්ණයෙන් චාජ් වීම සඳහා පැය එකහමාරකට වැඩි කාලයක් ගත වේ. (බැටරියේ ධාරිතාවය (capacity) අනුව ගත වන කාලය වෙනස් විය හැකිය.) මෙසේ දුරකථනයක් සම්පූර්ණයෙන් චාජ් කරගත් පසු එය බොහෝ විට දින එකක් හෝ දෙකක් භාවිිතා කිරීමට තරම් බැටරියෙන් සපයන විදුලිය ප්‍රමාණවත් වේ. එනම් දුරකථනය දිනපතාම හෝ දින දෙකකට වරක් චාජ් කිරීමට සිදු වේ. පසුගිය දස වසර තුළ තාක්ෂණය කොතරම් දියුණු වුවද බැටරියේ තත්වය එදා මෙන්ම අදත් මෙසේය.

මෙයට හේතු කිහිපයකි. දුරකථන බැටරි සඳහා යොදාගන්නේ Li-ion (ලිතියම් අයන්) හෝ Li-po (ලිතියම් පොලිමර්) බැටරි ය. පැරණි බැටරි තාක්ෂණයන් වූ Ni-Cd (නිකල් කැඩ්මියම්), Ni-MH (නිකල් මෙටල් හයිඩ්‍රයිඩ්) බැටරි වලට වඩා මේවා ධාරිතාවයෙන් වැඩි ය. නමුත්, දිනෙන් දින පහසුකම් (features) සහ වේගය (processing power) වැඩි වන දුරකථන සහ ලැප්ටොප් වැනි උපකරණ සඳහා මේවායේ බලය ප්‍රමාණවත් නොවන තැනට පත් වෙමින් පවතියි.

මෙම Li-ion/Li-po බැටරි වල ධාරිතාවය වැඩි කිරීම සඳහා බැටරිය තුළ අඩංගු වන රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය වැඩි කළ යුතුය. එවිට බැටරියෙහි විශාලත්වය සහ බර වැඩි වෙයි. බැටරියේ විශාලත්වය තරමක් අඩු කරගැනීම සඳහා බැටරිය තුළ අඩංගු රසායනික ද්‍රව්‍ය පීඩනයට ලක් කිරීම (compress) කළ හැකිය. නමුත් වැඩිපුර compress කිරීම මගින් බැටරියේ ස්ථායී බව (stability) අඩු වී බැටරිය ගිනි ගැනීම සහ පිපිරීම වැනි සිදුවීම් වලට ලක් විය හැකිය. Samsung Galaxy Note 7 දුරකථනය ගිනි ගැනීම් සහ පිපිරීම් වලට ලක් වූ අවස්ථා කිහිපයක් 2016 වසරේ දී වාර්තා විය. එයට හේතුව ලෙස එහි බැටරිය වැඩිපුර compress කිරීම නිසා ඇති වූ ලුහුවත් වීමක් (short circuit) බව පසුව අනාවරණය විය.

ගුවන් යානයක් තුළදී ගිනි ගත් Samsung Galaxy Note 7 දුරකථනයක්
Image credit - arsTECHNICA

ජංගම දුරකථනයක් තුළ දැනටමත් වැඩිම ඉඩ ප්‍රමාණයක් වැය වන්නේ එහි බැටරියටයි. ප්‍රමාණයෙන් විශාල බැටරියක් යෙදීමෙන් දුරකථනය නිතර චාජ් කිරීමට සිදු වීම වලක්වාගත හැකි වුවද දුරකථනයේ බර සහ ඝනකම වැඩි වනු ඇති. එසේම එය චාජ් වීමට ද වැඩි කාලයක් ගත වෙයි. මේ නිසා දුරකථනයක බැටරිය ඉක්මණින් බැස යාම වලක්වාගැනීමට නම් Li-ion/Li-po ට වඩා දියුණු සහ ලාභදායී බැටරි තාක්ෂණයක් සොයාගන්නා තුරු බලා සිටීමට සිදු වේ. මෙසේ අලුත් බැටරි තාක්ෂණයක් සොයාගැනීමට තවත් බොහෝ කාලයක් ගත වනු ඇති.

iPhone Xs Max දුරකථනයේ බැටරිය
Image credit - JerryRigEverything

බැටරි තාක්ෂණයේ දියුණුවක් දක්නට නොලැබෙන නිසා දුරකථන සහ ලැප්ටොප් පරිගණක වල තිරය (display), ප්‍රොසෙසරය (processor), සහ Wi-Fi, Bluetooth වැනි wireless තාක්ෂණයන් සහ Operating System එක සඳහා වැය වන විදුලි බල ප්‍රමාණය අඩු කිරීම, එනම් ඒවායේ කාර්යක්ෂම බව වැඩි කිරීම පසුගිය දස වසර තුළ දුරකථන සහ පරිගණක නිෂ්පාදන සමාගම් විසින් දිගින් දිගටම සිදු කරන ලදී.

එනම්, වසර කිහිපයක් පැරණි දුරකථන හා ලැප්ටොප් පරිගණක වලට වඩා, මෑතකදී නිපදවූ අලුත් දුරකථන සහ ලැප්ටොප් පරිගණක සඳහා විදුලිය වැය වන්නේ අඩුවෙනි. එම නිසා බැටරිය විශාල කිරීමෙන් තොරව, දුරකථන සහ ලැප්ටොප් පරිගණක නිතර චාජ් කිරීමට සිදු වීම තරමක් දුරට අඩු කර ඇත.

එසේම, ARM තාක්ෂණය සහිත Qualcomm Snapdragon chipset යොදා නිපදවූ Windows පරිගණක (ultrabooks) තිබේ. මේවායේ විදුලිය භාවිතය කෙතරම් අඩුද යත්, එක් වරක් චාජ් කළ පසු පැය 24 කට වඩා පරිගණකය භාවිතා කිරීමට හැකිය. Intel chip සහිත ultrabook පරිගණක වල මෙය පැය 7-8 තරම් අඩු කාලයකි.

Snapdragon 850 chipset සහිත Lenovo Yoga පරිගණකය
Image credit - TheVerge

දුරකථනය චාජ් කිරීම වේගවත් කිරීම ද තවත් පිලියමකි. දුරකථනය දිනපතා චාජ් කිරීමට සිදු වුවද එය ඉක්මණින් චාජ් කරගැනීමට හැකි නම් එය පහසුවකි. නමුත් දුරකථන බැටරි චාජ් වීමේ වේගය වැඩි කළ හැකි සීමාවක් තිබේ. Li-ion/Li-po බැටරි චාජ් වන වේගය වැඩි කරන විට ඒවා රත් වීම නිසා damage වීම සිදු වෙයි. මේ නිසා දුරකථන බැටරි චාජ් වන වේගය වැඩි කිරීම පහසු කටයුත්තක් නොවේ.

Wireless charging සහ fast charging ලෙස බැටරි සම්බන්ධ නව තාක්ෂණයන් මෑත කාලයේ දුරකථන සමග හඳුන්වා දුන් නමුත් මේවායේ එතරම් සාර්ථක බවක් දක්නට නොමැත.

Wireless charging

Wireless charging නැතහොත් inductive charging තාක්ෂණය මගින් විසඳන බැටරි සම්බන්ධ ගැටළු ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් අලුතෙන් ගැටළු ඇති කරයි.

ගෘහ විදුලියට සම්බන්ධ කරන ලද charging pad එකක් මත දුරකථනය තැබූ විට දුරකථනය චාජ් වීම wireless charging තාක්ෂණය මගින් සිදු කරයි. මෙහිදී charging pad එකේ සිට දුරකථනය දක්වා ශක්තිය ගමන් කරන්නේ චුම්භක තරංග (magnetic waves) ලෙස ය.

Wireless charging මගින් චාජ් වන Samsung Galaxy S9 දුරකථනය
Image credit - EasyAcc

මෙහිදී දුරකථනය චාජ් කිරීමට එයට කේබල් එකක් සම්බන්ධ කිරීමට අවශ්‍ය නැත. කේබල් එකක් සම්බන්ධ කර නැති නිසා අවශ්‍ය අවස්ථාවක දුරකථනය පහසුවෙන් අතට ගැනීමට හැකි ය. එසේම, cafe, libraries වැනි පොදු ස්ථාන වල charging pads සවි කර තැබූ විට අවශ්‍ය කෙනෙකුට එය මත තබා දුරකථනය චාජ් කරගැනීමට ද හැකිය.

Cafe එකක මේස මත සවි කර තිබෙන wireless charging pads
Image credit - AndroidCentral

නමුත් ප්‍රායෝගිකව wireless charging තාක්ෂණය භාවිතා කරන විට මතු වන ගැටළු රැසකි. "Wireless" ලෙස පැවසුවද මෙය සැබවින්ම wireless නැත. Charging pad එක සෑම විටම කේබල් එකක් මගින් ගෘහ විදුලියට සම්බන්ධ කර තැබිය යුතුය. එසේම දුරකථනය charging pad එක මත තැබූ විට පමණක් චාජ් වෙයි. එය අතට ගත් පසු චාජ් වන්නේ නැත. එනම්, චාජ් වන අතරතුර දුරකථනය භාවිතා කළ නොහැකි ය.

Wireless charging තාක්ෂණය සහිත දුරකථන වල charging pad එක තුළ අඩංගු වන්නේ ලෝහ කම්බි වලින් සාදන ලද කම්බි දඟරයකි (coil). මෙමගින් විදුලිය, චුම්භක ක්ෂේත්‍රයක් (magnetic field) බවට පත් කර දුරකථනය වෙත සම්ප්‍ර්ෂෙණය (transmit) කරයි. එම චුම්භක තරංග ලබාගැනීමට දුරකථනය තුළද මෙවැනි කම්බි දඟරයක් (coil) අඩංගු කළ යුතුය. එමගින් චුම්භක ක්ෂේත්‍රය නැවත විද්‍යුත් ධාරාවක් (electrical current) බවට පත් කර එය ස්ථායී (stable) ලෙස සකසා බැටරිය වෙත ලබා දෙයි. මෙම කම්බි දඟර සහ එයට සම්බන්ධ පරිපථ (circuits) සහිත කොටසේ (coil assembly) සංකීර්ණ බව නිසා දුරකථනයේ මිල ද නිතැතින්ම ඉහළ යයි.

Charging pad එකක් තුළ coil එක සහ circuit එක පිහිටන ආකාරය
Image credit - Real Engineering

Wireless charging පහසුකම සහිත දුරකථනයක ඇතුලත ඇති coil එක
Image credit - AndroidCentral

එසේම wireless charging තාක්ෂණය සහිත දුරකථන වල පිටුපස ආවරණය සෑදීමට, විද්‍යුත් චුම්භක ක්ෂේත්‍ර (electromagnetic fields) අවහිර නොකරන අමුද්‍රව්‍ය යොදාගත යුතුය. එනම්, දුරකථනයේ පිටුපස ආවරණය සෑදීම සඳහා සමහර ලෝහ වර්ග යොදාගත නොහැකිය.

එසේම wireless තාක්ෂණයෙන් දුරකථනයේ බැටරිය චාජ් වීමට, සාමාන්‍ය චාජරයක් භාවිතයෙන් එය චාජ් කරන විට ගත වන කාලයට වඩා වැඩි කාලයක් ගත වේ. එනම්, බැටරිය චාජ් වන්නේ සෙමින් ය. මෙයට හේතුව wireless charging තාක්ෂණයෙහි කාර්යක්ෂම බව අඩු වීමයි. එනම්, wireless charging තාක්ෂණයෙන් දුරකථනයක් චාජ් කරන විට විදුලිය අපතේ යාම වැඩි ය. Charging pad එක තුළ සහ දුරකථනය තුළ තිබෙන coils මගින් තාපය ලෙස විදුලිය අපතේ යාම මෙයට හේතුවයි. එක් දුරකථනයක් සලකා බැලූ විට මෙම අපතේ යන විදුලි ප්‍රමාණය සුළු කොට තැකිය හැකි වුවද, දුරකථන මිලියන ගණනක් wireless charging තාක්ෂණය භාවිතා කරන විට අපතේ යන විදුලි ප්‍රමාණය අති විශාල ය.

Tesla Roadster ඉලෙක්ට්‍රික් මෝටර් රථය
Image credit - TeslaRati

Tesla වැනි, සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන වාහන (electric vehicles) සඳහා wireless charging පහසුකම හඳුන්වා දීමට සැලසුම් කර තිබුණද, එයට ඇති ප්‍රධාන බාධාවක් වන්නේ දැනට තිබෙන මෙම wireless charging තාක්ෂණයෙහි ඇති අකාර්යක්ෂම බවයි (inefficiency).

චාජරයට සම්බන්ධ කර තිබෙන Tesla Model 3 ඉලෙක්ට්‍රික් කාරය
Image credit - Tesla

Tesla Model 3 electric car එක, එක් වරක් චාජ් කළ පසු එය 500 km පමණ දුරක් ධාවනය කල හැකි ය. ඉන් පසු එය චාජ් කිරීම සඳහා charging station එකක් හෝ නිවසක් වෙත පැමිණ චාජරයට සම්බන්ධ කළ යුතුය. නමුත් මෙම වාහන සඳහා wireless charging තාක්ෂණය හඳුන්වා දුන් පසු වාහන නවතා තබන parking spots සහ garages වැනි ස්ථාන වල පොළවේ wireless charging pads සවි කර තැබිය හැකිය. ඉන් පසු වාහනය එය මත නවතා තැබූ විට ඉබේම චාජ් වනු ඇති.

දැනට භාවිතා වන charging stations ඉදි කිරීම සඳහා විශාල වියදමක් දැරීමට සිදු වන අතර ඒවා සඳහා විශාල ඉඩ ප්‍රමාණයක් ද වැය වේ. නමුත් wireless charging pads සවි කරන්නේ පොළව තුළ බැවින්, පොළව මතුපිට කිසිදු ඉඩක් වැය නොවේ. Charging stations වලට සාපේක්ෂව charging pads සවි කිරීමට දැරිය යුතු වියදම ද අඩු ය. එසේම මේවා සවි කරන්නේ සාමාන්‍යයෙන් වාහන නවතා තබන ස්ථාන වල නිසා, වාහනය චාජ් කිරීමට විශේෂ charging stations සොයා යාම සිදු කළ යුතු නොවේ.

Wireless charging සහිත BMW ඉලෙක්ට්‍රික් කාර් එකක්
Image credit - InsideEVs

Tesla Model 3 ඉලෙක්ට්‍රික් කාරය 1 kWh විදුලි බලයකින් 6 km පමණ දුරක් ධාවනය කළ හැකිය. එනම්, වාහනය දිනකට 35 km පමණ දුරක් පදවයි නම් වැය වන විදුලි බල ප්‍රමාණය 6 kWh පමණ වෙයි. මෙය සාමාන්‍ය නිවෙසක දිනකට භාවිතා වන විදුලි බල ප්‍රමාණයට සමාන ය. එනම්, විකිණෙන සෑම electric car එකක් පාසාම විදුලි බල සැපයුම් පද්ධතියට එක් වන අමතර load එක, එයට අලුතෙන් නිවසක් එක් වූවා හා සමාන වන අතර, wireless charging පහසුකම හඳුන්වා දුන් පසුව, එම තාක්ෂණයෙහි තිබෙන අකාර්යක්ෂම බව (inefficiency) නිසා මෙම වැය වන විදුලි බල ප්‍රමාණය දෙගුණයකින් පමණ වැඩි වන බව Qi wireless charging තාක්ෂණය නිපදවූ Wireless Power Consortium සංවිධානය විසින් ගණනය කර තිබේ.

මෙම නාස්ති වන අති විශාල විදුලි බල ප්‍රමාණය සැපයීමට තරම් විදුලි බල සැපයුම් පද්ධතිය පුළුල් කිරීම සිදු කළ නොහැකි වැඩකි.

එසේම Essential වැනි සමහර brands වල දුරකථන වල wireless charging සඳහා Qi සම්මත (standard) තාක්ෂණය වෙනුවට එයට වඩා තරමක් වෙනස් wireless charging තාක්ෂණයන් යොදා ගනියි. මේ නිසා සෑම දුරකථනයක්ම චාජ් කිරීම සඳහා එකම charging pad එක යොදාගත නොහැකි වීමද ගැටළුවකි.

පොදු ස්ථාන වල charging pads සවි කිරීමේදී යොදාගන්නා charging pads සඳහා මෙවැනි විවිධ වර්ග වල wireless charging තාක්ෂණයන්ට ගැලපෙන ලෙස, එකම charging pad එක තුළ coils කිහිපයක් අඩංගු කර නිපදවයි.

Charging pad එකක් තුළ විවිධ වර්ග වල coils කිහිපයක් පිහිටන ආකාරය
Image credit - Real Engineering

මෙවැනි ගැටළු wireless charging තාක්ෂණයේ ව්‍යාප්තියට බාධාවකි. මේ අනුව සලකා බලන විට සාමාන්‍ය චාජරයක් භාවිතා කිරීම වඩාත් ප්‍රායෝගික ය.

Fast charging

දුරකථනයක බැටරිය චාජ් වන වේගය, නැතහොත් බැටරිය චාජ් වීමට ගත වන කාලය තීරණය වන්නේ ප්‍රධාන වශයෙන් බැටරියේ ධාරිතාවය (capacity) සහ චාජරයෙන් සැපයෙන විදුලි ධාරාවේ ඇම්පියර් (Ampere) ප්‍රමාණය සහ වෝල්ටීයතාවය (voltage) මත ය.

චාජරයෙන් සැපයෙන විද්‍යුත් ධාරාවේ වෝල්ටීයතාවය, ඇම්පියර් ප්‍රමාණයෙන් වැඩි කළ විට බැටරිය චාජ් වන ක්ෂමතාවය (wattage) ලැබේ. "Fast" නොවන සාමාන්‍ය චාජරයකින් බැටරිය වෙත සැපයෙන විද්‍යුත් ධාරාවේ වෝල්ටීයතාවය 5V සහ ඇම්පියර් ප්‍රමාණය 2A පමණ වේ. එනම් එමගින් බැටරිය චාජ් වන ක්ෂමතාවය 10W කි.

බැටරිය වෙත සැපයෙන විද්‍යුත් ධාරාවේ වෝල්ටීයතාවය හෝ ඇම්පියර් ප්‍රමාණය හෝ මේ දෙකම හෝ වැඩි කිරීම මගින් වැඩි ක්ෂමතාවයකින් බැටරිය චාජ් කිරීම fast charging තාක්ෂණය සහිත දුරකථන වල සිදු වේ. මෙමගින් බැටරිය චාජ් වන ක්ෂමතාවය 18W සහ 20W වැනි විශාල අගයන් දක්වා වැඩි කර තිබේ.

නමුත් මෙහිදී ගැටළු කිහිපයක් මතු වේ. දුරකථන සඳහා යොදාගන්නා Li-ion/Li-po බැටරි, වැඩිපුර රත් වූ විට damage වීම සිදු වෙයි. Fast charging තාක්ෂණය භාවිතයෙන් බැටරිය චාජ් වන විට බැටරිය වැඩි ක්ෂමතාවයකින් චාජ් වන නිසා බැටරිය ඉක්මණින් රත් වේ. මේ නිසා බැටරිය සිසිල් කිරීමට එයට සැපයෙන විද්‍යුත් ධාරාවේ වෝල්ටීයතාවය අඩු වීම සිදු වෙයි. මෙහි ප්‍රතිඵලය වන්නේ fast charging මගින් බැටරිය චාජ් වන විට බැටරිය 0% - 60% පමණ දක්වා ඉක්මණින් චාජ් වීමත්, ඉන් පසු බැටරිය චාජ් වන වේගය අඩු වීමත් ය.

Fast charging පහසුකම සහිත දුරකථන වල වෙලඳ දැන්වීම් වලදී දුරකථනය 50% පමණ චාජ් වීමට ගත වන කාලය පමණක් සඳහන් කරන්නේ මේ හේතුව නිසා ය. නමුත් දුරකථන වල සිසිලන ක්‍රම දියුණු වීමත් සමග මේ තත්වය තරමක් දුරට අඩු වී ඇත.

Qualcomm, MediaTek, Oppo, Huawei, Motorola, Apple වැනි විවිධ සමාගම් මගින් හඳුන්වා දෙන ලද එකිනෙකට වෙනස් fast charging තාක්ෂණයන් මේ වන විට දුරකථන සඳහා භාවිතා වේ. මෙසේ නවීනතම fast charging පහසුකම සහිත දුරකථනයක් වුවද සම්පූර්ණයෙන් චාජ් වීමට පැයක් හෝ ඊට තරමක් වැඩි කාලයක් ගත වෙයි. "Fast" නොවන, සාමාන්‍ය චාජරයකින් දුරකථනය චාජ් වීමට ගත වන කාලය සමග සසඳා බැලූ විට මෙය වේගවත් ය. නමුත් Oppo සමාගම විසින් Oppo Find X දුරකථනය සමග අඩංගු කර එවූ Super VOOC fast charging තාක්ෂණය, දැනට තිබෙන අනෙකුත් fast charging තාක්ෂණයන් සියල්ලටම වඩා බොහෝ ඉදිරියෙන් සිටියි.

මෙම Super VOOC තාක්ෂණය මගින් දුරකථනය සම්පූර්ණයෙන්ම චාජ් කිරීමට ගත වන්නේ මිනිත්තු 30 ක් පමණි. අනෙකුත් fast charging තාක්ෂණයන් සමග සැසඳූ විට මෙය, ඒවා මෙන් දෙගුණයකටත් වඩා වේගවත් ය. මෙහිදී 50W ක්ෂමතාවයකින් බැටරිය චාජ් වීම සිදු වෙයි. නමුත් මෙහිදි බැටරිය රත් වීමක් හෝ බැටරියට හානි වීමක් සිදු නොවේ.

විවිධ fast charging තාක්ෂණයන් මගින් බැටරිය චාජ් වන ක්ෂමතාවයන්
Image credit - TechAltar

Super VOOC තාක්ෂණයෙන් චාජ් වන Oppo Find X දුරකථනය
Image credit - TechAltar

Oppo Find X දුරකථනය අනෙක් දුරකථන වලට වඩා දෙගුණයකටත් වැඩි වේගයකින් චාජ් වේ
Image credit - TechAltar

Oppo Super VOOC fast charging තාක්ෂණයෙහි තවත් සුවිශේෂිත්වයක් වන්නේ දුරකථනයෙහි screen එක on කර තිබියදී චාජ් කරන විට ද චාජ් වන වේගය අඩු නොවීමයි. Apple iPhone X දුරකථනයෙහි මෙසේ screen එක on කර චාජ් කරන විට බැටරියේ උෂ්ණත්වය වැඩි වන අතර චාජ් වන වේගය විශාල වශයෙන් අඩු වෙයි. LG, Samsung වැනි දුරකථන වල screen එක on කර චාජ් කරන විට fast charging පහසුකම සම්පූර්ණයෙන්ම නතර වන අතර, සාමාන්‍ය වේගයෙන් චාජ් වීම සිදු වෙයි.

Screen එක on කර තිබෙන විට ද Oppo Find X දුරකථනය චාජ් වන වේගය අඩු නොවේ
Image credit - TechAltar

Oppo Super VOOC තාක්ෂණය අනෙකුත් fast charging තාක්ෂණයන්ට වඩා තරමක් වෙනස් ආකාරයෙන් ක්‍රියාත්මක වෙයි. මෙහිදී දුරකථනයේ බැටරිය, ඒකක (units) දෙකක් ලෙස ක්‍රියා කරයි. එනම්, මෙහි බැටරිය තනි බැටරියක් නොව බැටරි දෙකකි. එයට චාජරයෙන් ලබා දෙන්නේ 5V 10A විද්‍යුත් ධාරාවකි. එනම් ක්ෂමතාවය 50W වේ. මෙහිදී වෝල්ටීයතාවය සාමාන්‍ය 5V නිසා බැටරිය රත් වීමක් සිදු නොවෙයි.

චාජරයෙන් ලබා දෙන මෙම විද්‍යුත් ධාරාව 5V 5A ලෙස විද්‍යුත් ධාරාවන් දෙකකට බෙදා බැටරි දෙකට ලබා දීම සිදු වෙයි. එනම්, බැටරිය කොටස් දෙකකට වෙන් කිරීම හා ඒ දෙකම එකවර චාජ් කිරීම මගින් බැටරිය චාජ් වීමට ගත වන කාලය හරි අඩකින් අඩු කර තිබේ. එක් එක් බැටරිය චාජ් වන ක්ෂමතාවය ද අධික නොවන නිසා බැටරිය රත් වීම හෝ damage වීම සිදු නොවෙයි.

iPhone Xs Max වැනි දුරකථන ද කොටස් වලට ගලවා (disassemble) බැලූ විට ඒවායේ ද බැටරිය කොටස් දෙකක් වශයෙන් තිබෙන බව දක්නට ලැබුණත්, Oppo Find X හි මෙන් එය බැටරි දෙකක් ලෙස නොව, තනි බැටරියක් ලෙස ක්‍රියා කරයි. එම නිසා චාජ් වීම එතරම් වේගවත් නැත.

iPhone Xs Max දුරකථනයෙහි බැටරිය කොටස් දෙකක් ලෙස තිබුණද ඒවා තනි බැටරියක් ලෙස ක්‍රියා කරයි
Image credit - JerryRigEverything

මෙම Super VOOC තාක්ෂණය දැනට Oppo Find X දුරකථනයෙහි පමණක් දක්නට ලැබේ. මීලඟ වසරේ සිට මෙම තාක්ෂණය අනෙකුත් Oppo දුරකථන සහ OnePlus දුරකථන සඳහා ද ලැබෙනු ඇති.

Oppo Find X දුරකථනයේ මෝටරයක් මගින් ඉහළට එසවෙන කැමරාව සහිත කොටස
Image credit - Marques Brownlee

මෙම නව fast charging තාක්ෂණයට අමතරව Oppo Find X දුරකථනයෙහි තවත් විශේෂ වෙනස්කම් රැසක් ඇත. මෙම දුරකථනය සම්පූර්ණයෙන්ම "bezel less" ලෙස නිර්මාණය කර ඇත. එනම්, දුරකථනයේ ඉදිරිපස සම්පූර්ණයෙන්ම තිරයෙන් (screen) වැසී තිබෙන අතර අනෙක් දුරකථන මෙන් එය වටා bezel එකක් හෝ notch එකක් නැත. දුරකථනයේ පිටුපස ද සම්පූර්ණයෙන්ම වීදුරු වලින් වැසී තිබෙන අතර එහි camera lens, fingerprint reader, හෝ flashlight දක්නට නැත.

මෝටරයක් මගින් ස්වයංක්‍රීයව ඉහළට එසවෙන කොටසක් තුළ face recognition sensor, proximity sensor සහ අනෙකුත් sensors ද, camera, flashlight වැනි කොටස් ද අන්තර්ගත කර ඇත. මෙහි මිල Euro 770 (රුපියල් 151,234) පමණ වෙයි.

Oppo Find X Lamborghini Edition
Image credit - Oppo

Oppo Find X දුරකථනයෙහි විශේෂ Lamborghini Edition එකක් ද තිබේ. එහි මිල Euro 1700 (රුපියල් 333,768) පමණ වෙයි. මෙම දුරකථනයෙහි පිටුපස කොටස carbon fiber වලින් නිපදවා වීදුරු වලින් ආවරණය කර තිබෙන අතර එය මත රන්වන් Lamborghini ලාංඡනය සහ රන්වන් Oppo ලාංඡනය දක්නට ලැබෙයි. මේ සමග විශේෂ carbon fiber වලින් ආවරණය කරන ලද Bluetooth earphones, රන්වන් Super VOOC ලාංඡනය සහිත චාජරයක් සහ රන්වන් පැහැති USB cable එකක් ද ලැබේ.

Oppo Find X Lamborghini Edition සමග ලැබෙන විශේෂිත earphones සහ charger
Image credit - Oppo

Comments

Popular posts from this blog

ජෙනුයින් වින්ඩෝස් නොමිලේ! | Genuine Windows 10 - Free Download

ජංගම දුරකථන බැටරියේ ආයු කාලය වැඩි කර ගනිමු 📱

Android 9 Pie 🥧 ගැන හැමදේම!